Saturday, May 21, 2016

පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමේ දෝෂය !


අප පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඉබේම රිස්ටාට් වීමට, දෘඩාංග (hardware faults) දෝෂ මෙන්ම මෘදුකාංග දෝෂද (software faults) බලපායි.


ඒවා කිහිපයක් මෙසේයි,


  • වැඩ කරන අතරතුරදි පරිගණකයේ තාවකාලික මතකය (RAM - Random Access Memory) ප්‍රමාණවත් නොවීම නිසා පරිගණකය රිස්ටාට් විය හැක. මෙය ඔබට අමතර ‍රැම්කාඩ් එකක් යොදා පරීක්ෂා කොට බැලිය හැක. පරිගණකයේ තාවකාලික මතකය ප්‍රමාණවත් නොවෙන අවස්ථා වල දෘඩ තැටිය තුළ තාවකාලිකව ඉඩක් වෙන්කර සකස් කර ගන්නා මතක ආකාරයක් තිබේ. වර්චුවල් මෙමරි (virtual memory) යනු මෙයයි. සාමාන්‍යයෙන් පරිගණකයේ මතකය මෙන් 1.5 තරම් ප්‍රමාණයක් වර්චුවල් මෙමරි ගැළපෙන සේ වැඩි කර රීස්ටාට් වීම පාලනය වන්නේද  යන්න මෙම පරීක්ෂාවෙන් දැන ගත හැක.


  • පරිගණකයේ ප්‍රොසෙසරය (CPU - Central Processing Unit) සහ පවර් යුනිට් (power supply unit) එක වැනි වැඩිපුර රත්වන ස්ථාන වල යොදා ඇති කූලිං ෆෑන් (cooling fan), හීට් සින්ක් (heat sink) ආදිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන පරිගණකයකින් ටික වේලාවක් වැඩ කරන විට එය ඕනෑවට වඩා රත් වී  රීස්ටාට් වේ. එබැවින් මෙම උපාංග නිසි පරිදි ක්‍රියාත්මක වේ දැයි පරීක්ෂා කොට බැලිය යුතුය.


  • වයිරස් ඇතුළු වී ක්‍රියාත්මක වීමෙන් පරිගණක මෙහෙයුම් පද්ධතිය අකර්මන්‍ය (corrupt) වීම නිසාද  මෙසේ රීස්ටාට් විය හැක. ඔබ මේ සදහා ඇන්ටිවයිරස් වැඩසටහනක් භාවිතා කර සම්පුර්ණයෙන්ම පරිගණකය ස්කෑන් කොට වයිරස් ඉවත් කොට හැක.


  • දෘඩ තැටිය (hard disk) තුළ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය අවම ඉඩ (free space) ප්‍රමාණයක් තිබේ. මෙය නොමැති වී යාම නිසාද මෙසේ පරිගණකය රීස්ටාට් වේ. My Computer වෙත ගොස් එහි හාඩ් ඩිස්ක් එක ‍තෝරා ඒ මත රයිට් ක්ලික් කර ලැබෙන ඩ්‍රොප්ඩවුන් ලිස්ට් එකෙන් Properties සිලෙක්ට් කළ විට ලැබෙන මෙනුවෙන් ප්‍රොපර්ටිස් පරීක්ෂා කොට එහි අවම ඉඩ ප්‍රමාණය තිබේ දැයි බලා ගත හැක. අවම ඉඩ නැත්නම් එහි ඇති DiskCleanup බොත්තම ඔබා ඩිස්ක් ක්ලීන් අප් කිරීම හෝ Properties වින්ඩෝවේ Tools ටැබ් එකෙන් Defragment Now හරහා ගොස් ඩිෆ්රැග්මන්ට් කිරීමෙන් යම් ඉඩක් ලබා ගත හැක. එවිටත් අවම ඉඩ නොලැබේ නම් අනවශ්‍ය ෆයිල් සහ සොෆ්ට්වෙයාර්ස් පරිගණකයෙන් ඉවත් කරන්න.


  • පරිගණකයේ පද්ධති දෝෂයක් (system error) ඇති විට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රීයව රිස්ටාට් වීමට සකස් කොට තිබේ. අවශ්‍ය නම් එම හැකියාව ඉවත් කළ හැක. ඒ සදහා My Computer >System Properties >Advance >Startup and Recovery >Settings ලබා ගෙන එහි System failure යටතේ ඇති Automatically restart යන චෙක් බොක්ස් එක ඉදිරියේ ඇති √ ලකුණ ඉවත් කළ (uncheck) කළ යුතුය. දැන් මා මුලින් කී පරිදි පරිගණකය රිස්ටාට් නොවේ නම් දෝෂය ඇත්තේ මෙහෙයුම් පද්ධතියේය.




0 comments:

Post a Comment